Saturday, February 16, 2013

02. මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානය භාවිත කර මිනුම් ලබා ගැනීම.

වඩා නිවැරදිව 25 mm ට අඩු දිගක් මැනීමට මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානය ඉතා සුදුසු උපකරණයකි. එහි නිරවද්‍යතාව ව’නියර් කැලිපරයට වඩා දසගුණයකින් පමණ වැඩිය. මෙහි C- හැඩැති ඝන රාමුවක් තුල එක් පසෙක දෘඩව සවි කල කිනිහිරක්ද අනෙක් පස ඉස්කුරුප්පුවක් මගින් එහා මෙහා ගමන් කරන ඉද්දක්ද  ඇත.
ඉස්කුරුප්පුව කරකැවිය යුත්තේ දිදාලය කෙලවර සවිව ඇති දිදාල හිසිනි. අවශ්‍ය තරමට මිනුම් කරන වස්තුව ඉද්ද හා කිණිහිර අතර හිර වූ විගස රැචටයක් මගින් දිදාල හිස දිදාලයෙන් වෙන්ව කරකැවීමට පටන් ගනියි.

  
රේඛීය පරිමාණයක කියවීමට අපහසු තරමේ කුඩා ප්‍රමාණයේ දිගක් ඉස්කුරුප්පුවක් මගින් විශාල භ්‍රමණයක් බවට පත් කිරීම මයික්රෝමීටර ඉස්කුරුප්පු ආමානයේ මූලධර්මය වේ. උදාහරණයක් ලෙස භාහිර විෂ්කම්භය 10 mm වන ඇක්සලයක් සහිත මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානයක් එක් වටයක් කරකවීමේදී ඉද්ද රේඛියව 1 mm විස්ථාපනයක් ලබා ගන්නේ නම් එම 1 mm විස්ථාපනය 31.4 mm කට ප්‍රක්ෂේපණය වන නිසා නිරවද්‍යතාවය වැඩි වෙයි. (විෂ්කම්භය 10 mm වන වෘතයක පරිධිය = π D = 3.14 x 10 mm = 31.4 mm)
L = S / C


L - ඉස්කුරුප්පු ආමානයේ කුඩාම මිනුම

S - ඉස්කුරුප්පුවේ අන්තරාලය (ඇක්සලය එක් වටයක් කරකවීමේදී ඉද්දේ රේඛිය විස්ථාපනය)

C - වට පරිමාණයේ බෙදුම් ගණන

ක්‍රියාකාරකම
1.    මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානයේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිගත් වට පරිමාණයේ කොටස් ගණනත් නිරීක්ෂණය කර ගන්න.
2.    ඉද්ද හා කිණිහිර එකට ගැටී දිදාල හිස වෙන්ව සියුම් ශබ්දයක් නගමින් කැරකැවෙන තෙක් දිදාල හිස දක්ෂිණාවර් ථව කරකවන්න.
3.    ප්‍රධාන පරිමාණයේ හා වට පරිමාණයේ ශුන්‍ය රේඛා එකිනෙක සමපාත නොවේනම් උපකරණයේ මුලාංක වරදක් තිබෙයි.
4.    දැනට වට පරිමාණයට ආසන්නනම පිහිටා ඇති ප්‍රධාන පරිමාණයේ කියවීම සටහන් කර ගන්න. ප්‍රධාන පරිමාණය හා  සමපාත වන වට පරිමාණයේ කියවීමද සටහන් කර ගන්න. වට පරිමාණයේ එක් කොටසක් කුඩාම මිනුමට සමාන වන නිසා දැනට කැරකැවී ඇති කොටස් ගණන ගණන් කර කුඩාම මිනුමෙන් ගුණ කල විට මිනුම ගණනය කර ගත හැක.
5.    වට පරිමාණය නැවතී ඇත්තේ ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය රේඛාව වට පරිමාණයෙන් වැසෙන පරිද්දෙන් නම් ඍණ මුලාංක වරදක් ඇති අතර එය අවසන් කියවුමට එකතු කල යුතුය. වට පරිමාණය නැවතී ඇත්තේ ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය රේඛාවට විරුද්ධ දෙසින් නම් ධන මුලාංක වරදක් ඇති අතර එය අවසන් කියවුමෙන් අඩු කල යුතුය.
6.    දැන් උපකරණය අවශ්‍ය ප්‍රමාණයට විවෘත කර මිනුම් ලබා ගැනීමට අවශ්‍ය ද්‍රවය ඉද්ද හා කිණිහිර අතර පරෙස්සමින් තබා දිදාල හිසින් කරකවා සුදුසු පරිදි තද වුන පසු අගුල ක්‍රියාත්මක කර ගන්න. දැනට වට පරිමාණයට ආසන්නනම පිහිටා ඇති ප්‍රධාන පරිමාණයේ කියවීම සටහන් කර ගන්න. ප්‍රධාන පරිමාණය හා  සමපාත වන වට පරිමාණයේ  කොටස් ගණන කුඩාම මිනුමෙන් ගුණකර ප්‍රධාන පරිමාණ කියවුමට එකතු කරන්න. මුලාංක වරදක් ඇත්නම් සුදුසු ලෙස එය ඉවත් කර ගන්න.
7.    මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානයේ කුඩාම මිනුම 0.01 mm වන නිසා මිනුම් සටහන් කිරීමේදී දශම ස්ථාන දෙකකින් දැක්විය යුතුය.
උදාහරණය 01
ප්‍රධාන පරිමාණයේ කොටසක් 0.5 mm වන පරිදි සටහන් කර ඇති මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානයක වට පරිමාණය සමාන කොටස් 50 කට බෙදා ඇත. එය දිදාල හිසින් කරකවා සම්පුර්ණයෙන්ම වැසූ විට පහත පරිදි පිහිටයි. වට පරිමාණය ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය රේඛාව වැසෙන පරිදි ගමන් කර 48 රේඛාව සමග සමපාතව  ඇති බව නිරීක්ෂණයකල හැක.
ප්‍රධාන පරිමාණයේ එක් කොටසක දිග 0.5 mm හා වට  පරිමාණයේ කොටස් 50 ක් ඇති නිසා කුඩාම මිනුම 0.5 mm / 50  විය යුතුය. එනම් කුඩාම මිනුම 0.01 mm විය යුතුය. වට පරිමාණයේ සමපාත ස්ථානය වන 48 රේඛාව වෙත ගමන් කිරීමටනම් වට පරිමාණය ආපස්සට කොටස් 2ක් ගමන් කල යුතුය. එබැවින් එය වට පරිමාණයේ කොටස් 2 කට සමාන වූ ඍණ මුලාංක වරදකි. එනම්, 2 x (-0.01 mm) = (- 0.02 mm) වේ. මෙය ඍණ මූලාංක වරදක් බැවින් අවසන් මිනුමට එකතු කල යුතුය.
උදාහරණය 02
ඉහත මාදිලියේම වෙනත් මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානයක් දිදාල හිසින් කරකවා සම්පුර්ණයෙන්ම වැසූ විට පහත පරිදි පිහිටයි. එහි වට පරිමාණය නැවතී ඇත්තේ ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය රේඛාවට විරුද්ධ දෙසින් වට පරිමාණයේ 3 රේඛාව සමග සමපාත වන පරිදිණි.
මෙහිද කුඩාම මිනුම 0.01 mm වේ. වට පරිමාණයේ සමපාත ස්ථානය වෙත පැමිණීමට එය කොටස් 3 ක් ධන දිශාවට ගමන් කල යුතු වේ. එවිට මූලාංක වරද වන්නේ 3 x 0.01 mm =  0.03 mm. මෙය ධන මූලාංක වරදක් බැවින් අවසන් මිනුමෙන් අඩු කල යුතුය.
උදාහරණය 03
ඉහත උදාහරණය 02 හි සඳහන් මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානය යොදාගෙන බෝල්ට් ඇණයක් මනින විට එහි වට පරිමාණය නැවතී ඇති ආකාරය රුපයේ දැක වෙයි. වට පරිමාණය නැවතී ඇත්තේ ප්‍රධාන පරිමාණයේ 7.5 mm රේඛාව යන්තමින් පසු කර වට පරිමාණයේ 18 රේඛාව වන සමග සමපාත වන පරිදිණි. එබැවින් දැනට කියවුම වන්නේ 7.5 mm + 18 x 0.01 mm = 7.68 mm වෙයි. නමුත් උපකරණයේ  0.03 mm ක ධන මූලාංක වරදක් ඇති නිසා නිවැරදි කියවුම 7.68 mm – 0.03 mm = 7.65 mm වෙයි.
පාඨාංක හා ගණනය කිරීම්
1.    ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ඔබ විසින් යොදාගත් මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානයේ ඉද්ද හා කිණිහිර එකට ගැටී දිදාල හිස වෙන්ව සියුම් ශබ්දයක් නගමින් කැරකැවෙන තෙක් දිදාල හිස දක්ෂිණාවර් ථව කරකවා එහි පරිමාණයන් දෙක පිහිටන ආකාරයේ රූප සටහනක් ඇඳ මූලාංක වරද ගණනය කරන්න.



                  

මූලාංක වරද: ......................... mm

2.    ක්රියාකාරකමෙහි උපදෙස් අනුව ලබා ගන්නා මිනුම් පහත වගුවේ සටහන් කර ගන්න

සිහින් කම්බියේ විශ්කම්භය
වානේ ගෝලයේ විශ්කම්භය
රේසර් තලයේ ඝනකම
කඩදාසියේ ඝනකම
කඩදාසිය 8 කට නැවු විට ඝනකම
වෙනත් 
1






2






3






4






5






එකතුව






මධ්‍යන්‍යය






(සියලු මිනුම් mm වලිනි)
සාකච්ඡාව
සිහින් කම්බි, කුඩා ඇණ, මුරිච්චි, තුනී තහඩු වැනි කුඩා ඝන වස්තු වල මිනුම් ඉතා නිවැරදිව ලබා ගැනීමට බහුලව යොදා ගන්නේ මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානයයි. මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානය, ව’නියර් කැලිපරයට වඩා වැඩි නිවැරදිතාවයකින් යුතු මිනුම් ලබා දෙයි. බොහෝ මයික්‍රොමීටර ඉස්කුරුප්පු මානය 0.01 mm නිවැරදිතාවයකින් යුතු වේ. එක් පාඨාංකයක් ගැනීමට වඩා පාඨාංක කිහිපයක මධ්‍යන්‍ය ලබා ගැනීම තුලින් නිවරද්‍යතාවය තවත් වැඩිකර ගත හැකිය. මිනුම් කරන වස්තුව අනවශ්‍ය තරමට හිර වුවහොත් එය මිනුමේ නිවැරදිතාවට බලපෑ හැකි නිසා රැචටයකින් දිදාල හිස වෙන්ව කැරකැවෙන ලෙස සකසා ඇත. මිනුම ලබාගෙන කියවගන්නා තෙක් ඉස්කුරුප්පුව නොවෙනස්ව අගුළුලා තැබීමටද හැකිය. දිදාල හිස වෙනුවට දිදාලයේ බඳෙන් අල්ලා උපකරණය භාවිතා නොකළ යුතුය. ගෙවීම් හා පලුදු වීම් වලින් ආරක්ෂා වීමට ඉද්ද හා කිණිහිර මතුපිට ටන්ග්ස්ටන් කාබයිඩ් වලින් නිමවා ඇත.
මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානය භාවිත මැනිය හැක්කේ භාහිර මිනුම් පමණි. එහි මිනුම් පරාසය 25 mm වැනි කුඩා පරාසයකට සීමා වේ. රබර් නල වැනි මෘදු ද්‍රව්‍ය වල මිනුම් මෙමගින් ලබා ගැනීමට අපහසුය. සුදුසු ලිහිසි ද්‍රව්‍යයක් යෙදීම, භාවිතයෙන් පසු තෙතමනය නොරැඳෙන ලෙස ගබඩා කිරීම තුලින් උපකරණයේ ආරක්‍ෂාව සැලසිය හැක.

No comments:

Post a Comment

Please feel free to comment or add any tips or ideas you may have.